පොත් ලැයිස්තුව

ඉද්ධිපාද විභංගය: ඡන්ද සහගත ධර්ම විග්‍රහය

star_outline

ඉදිරි පාද කථාවේදී (හෝ ග්‍රන්ථයේදී) පැහැදිලි කරගත යුතු සුවිශේෂී වචනයක් වන්නේ "සිත ලීනාකාරයට පත්වීම" හෙවත් තමාගේ "ලීන ඡන්දය" යන්නයි. මේ පිළිබඳව මුලිනුත් සඳහන් කරන ලදී.

"නච අතිලීනං භවිස්සති" (මාගේ ඡන්දය ලීන නොවේවා!)

එහිදී ‘ලීන’ යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද? යෝගාවචරයා දැඩි කැමැත්තක් (ඡන්දයක්) උපදවාගෙන, භාවනා කර්මස්ථානයක් මෙනෙහි කරමින් සිටින විට සිතෙහි කුසීත බවක් බැස ගත හැකිය. එවිට ඔහු "මාගේ සිත තුළ කුසීත බව බැස ගත්තේය" යන්න මැනවින් දැනගෙන, "අපාය භයේන චිත්තං තජ්ජෙත්වා" යනුවෙන් දැක්වෙන පරිදි අපාය බියෙන් සිතට තර්ජනය කළ යුතුය.

"ඔබ මේ විදිහට කුසීත වන්නේ අපායෙහි ඉපදීමටද? අපායෙහි උපන් කල්හි පංචවිධ වදබන්ධනයන්ට ලක්වීමට සිදුවෙනවා නේද? එසේම ලෝදිය පෙවීම්, ගිනියම් වූ අඟුරු සහ රත් වූ යකඩ ගුලි ගිල්වීම් ආදී කෲර දුක් විඳින්නට සිදුවෙනවා නේද?" කියා සිතට තර්ජනය කොට, "පුන ඡන්දං උප්පාදෙත්වා" නැවතත් භාවනාව කෙරෙහි කැමැත්ත ඇති කරවාගෙන, "කම්මට්ඨානං මනසිකරෝති" යනුවෙන් කමටහන මෙනෙහි කළ යුතුය.

එසේ මෙනෙහි කරමින් සිටින විට නැවතත් සිත තුළ අලස බව හෝ කම්මැළිකම බැස ගන්නේ නම්, ඔහු නැවත නැවතත් අපාය බියෙන් සිතට තර්ජනය කොට ඡන්දය හෙවත් කැමැත්ත උපදවාගෙන කමටහන මෙනෙහි කළ යුතුය. මෙය කුසීත භාවයෙන් යුක්ත වූ ඡන්දය හෙවත් "කෝසජ්ජ සහගත ඡන්දය" යි.